හැඳින්වීම

කුරක්කන් භෝගය ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල වර්ෂාපෝෂිත තත්ව යටතේ වගා‍කරනු ලබන ඉතා උසස් පෝෂණ ගුණයෙන් යුතු පාරම්පරික ධාන්‍ය භෝගයකි. නමුත් මෑත කාලයේ අලුතින් කැලෑ එළි පෙහෙලි කිරීම තහනම් කිරීමත් සමඟ කුරක්කන් වගාවට සුදුසු සාරවත් උස් බිම් හිඟවීම නිසා 1980 දී හෙක්ටයාර 21439 ක් වු කුරක්කන් වගා වපසරිය වර්තමානයේදී හෙක්ටයාර 5000 -6000 ක් අතර ප්‍රමාණයක් දක්වා අඩු වී ඇත. කුරක්කන්වල ඇති ‍සෞඛ්‍යමය අගය නිසාත් පාන් පිටි මිල ඉහල යාම නිසාත් දේශිය ඉල්ලුම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ලංකාවේ වත්මන් කුරක්කන් ජාතික අවශ්‍යතාවය මෙ.ටොන් 7000ක් පමණ වන අතර,දැනට සාමාන්‍යයෙන් වර්ෂයකට මෙ.ටොන් 2000ක් පමණ දේශීය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආනයනය කරනු ලැබේ. මෙම ආනයනය කරනු ලබන ප්‍රමාණය 2010 වන විට සම්පුර්ණයෙන්ම නැවැත්වීම සඳහා වැඩසටහනක් දෙශීය ආහාර භෝග නිෂ්පාදනය දිරීගැන්වීමේ වැඩසටහන යටතේ සකස් කර ඇත.

දේශගුණික අවශ්‍යතා

මහ කන්නයේ ඔක්තෝබර් සි‍ට ජනවාරි මැද දක්වා මි.ලී 800 - 1000 ක හොඳින් පැතිරුනණු වර්ෂාපතනයක් තිබීම කුරක්කන් වගාවේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වේ. යල කන්නයෙදී අතිරේක ජල සම්පාදනය යටතේද කුඹුරු ඉඩම්වලද වගා කල හැක.

පස

කාබනික ද්‍රව්‍ය 2 - 5% අතර ප්‍රමණයක් අඩංගු ජලය ‍හොඳින් බැස යන වැලි ලෝම පසක් වඩා යෝග්‍ය වේ. පසේ භාෂ්මිකතාවය දරා ගැනීමේ වැඩි හැකියාවක් භෝගය සතුව ඇත.

කුඹුරු ඉඩම්වල වගා කරන්නේ නම් ජලය බැස යන ඉඩමක් විය යුතුය. හදිසියේ ඇති වන වර්ෂාවල දී ජලය රදා තිබුණහොත් දීලිර රෝග ඇති වී මුල් කුණු වීම සිදුවේ. මනා ලෙස කාණු යොදා ජලවහනය දියුණු කරන ලද පාංශු කැටීනාවේ මැද පිහිටි කුඹුරු ඉඩම්වලද කුරක්කන් වගාව සාර්ථකව සිදු කල හැකිය. කුඹුරු පසේද කාබනික ද්‍රව්‍ය 2 - 5% අතර ප්‍රමාණයක් තිබීම වඩාත් යෝග්‍ය වේ. කාබනික ද්‍රව්‍ය අඩු පසට ගොම පොහොර හෝ කොළ පොහොර යෙදීම මඟින් කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතය දියුණු කල හැකිය.