රෝග පාලනය

අන්නාසි වගාවට වැළඳිය හැකි වැදගත් රෝග කිහිපයකි. ඒවා නම්:

1. ගොබය හෙවත් කරඬුව කුණුවීම
2. පාදස්ථය කුණුවීම හා මුල් කුණුවීම
3. ගෙඩි කුණුවීම
4. මැළවීම

ගොබය හෙවත් කරඬුව කුණුවීම සහ පාදස්ථය කුණුවීම

පසෙහි ජීවත් වන දිලීර නිසා මෙම රෝග ඇතිවේ.

රෝග ලක්ෂණ

ගොබ කුණුවීම බොහෝ විට දක්නට ලැබෙන්නේ අළුත් වගාවන්හිය. මෙහිදී කරඬුවේ ලා බාල පත්‍ර පහසුවෙන් ගැලවී එයි.

පාදස්ථ කුණුවීමේදී පත්‍ර මැලවේ. ගස් පහසුවෙන් ඉදිරීමට පිළිවන.

රෝගය පැතිරීම

රෝග කාරක දිලීරය සහිත පස් මඟින් සහ රෝපණ ද්‍රව්‍ය මඟින් රෝගය පැතිරේ.

පාලනය

නිරෝගී වගාවකින් මොරෙයියන් ලබාගන්න.
පැළ සිටුවීමට හෝ ප්‍රවාහණය කිරීමට පෙර දිලීර නාශකයක් යොදා පූර්ව ප්‍රතිකාර කරන්න.

 

ඉන්පසුව පැලවල පත්‍ර පහලට සිටින සේ දින 2-3 පමණ කැපුම් තුවාලය වියළි යන තෙක් තබන්න.

ගෙඩි කුණුවීම

මෙය කැපුම් හෝ තුවාල මගින් පසෙහි ජීවත්වන සෙරටොසිස්ටිස් පැරඩොක්සා හෙවත් අන්නාසි දිලීරය ගෙඩි තුලට ඇතුල් වීම නිසා වැළ‍‍දෙන රෝගයකි.

රෝග ලක්ෂණ

දිලීරය ඇතුල් වී දින දෙකකට පමණ පසුව ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළු පැහැවීමට පටන් ගනී. මෙම කළු පැහැවීම නටුව දිගේ ගෙඩිය තුලටද පැතිරේ.

පැතිරීම

පස්, වැසි බිංදු, සුළඟ සහ රෝපණ ද්‍රව්‍ය මගින් රෝගය පැතිරේ.

පාලනය

මැළවීම

අන්නාසි ගස් මැළවීම, විවිධ හේතු නිසා සිදුවිය හැකිය. මේ හේතූන් අතර පාදස්ථ කුණු වීම හෝ මුල් කුණු වීම, කුඩා ජීවීන් මගින් මූල පද්ධතිය විනාශ වීම සහ පිටි මකුණා මගින් වගාවේ පැතිරී යා හැකි වෛරස් රෝගය ප්‍රධාන තැනක් ගනී.

අන්නාසි වගාවේ ඉතාම වැදගත් රෝගය වන්නේ පිටි මකුණා මගින් පැතිරී යන වෛරස් රෝගය නිසා ගස් මැලවී යාමයි.

රෝග ලක්ෂණ

රෝගය වැළදුන ගස් වල පත්‍ර පළමුව තද රතු පාට වී පසුව රෝස පැහැයට හැරේ. මෙම අවස්ථාවේ දී දාරය දිගේ පත්‍ර ඇතුළට නැමේ. නිරෝගී ශාකයක පත්‍රවල පවතින දැඩි ස්වභාවය මෙම පත්‍ර වල නැතිවන නිසා පත්‍ර මැළවුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. පත්‍රයේ කෙළවර ප්‍රදේශය රබර් පටියක් මෙන්, කැඩීමකින් ‍තොරව නැමිය හැක. පත්‍ර වල අගිස්ස ප්‍රදේශය වියළේ. රෝගී ගස් ක්‍රමයෙන් මැරී යයි.

රෝග පාලනය

පිටි මකුණා පාලනය කර ගැනීම සඳහා නිර්දේශිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

නිරෝගී වගාවකින් ලබා ගත් මොරෙයියන් පමණක් සිටුවීම සඳහා යොදා ගන්න.

කෘමි පාලනය

අන්නාසි පිටි මකුණා (Dysmicocus brevipes)

අන්නාසි වගාවේ ඉතාම වැදගත් කෘමි පළිබෝධකයා පිටි මකුණා වේ. මෙම කෘමියා අන්නාසි පත්‍ර පාමුල, කර‍‍‍ඬුවේ හෝ ගෙඩි මත බොහෝ විට දක්නට ලැබේ. පිටි මකුණාගේ ශරීරය මත සුදු පැහැති පිටි වැනි ද්‍රව්‍යයක් දක්නට ලැබේ.

කුඩා කාලයේදී තරමක් ඔබ මොබ ගමන් කලත් පසු අවස්ථාවන්හිදී බොහෝ විට එක ස්ථානයකම රැඳී සිටී.

පිටි මකුණා ප්‍රධාන වශයෙන් වගාවට හානි කරනු ලබන්නේ අන්නාසි මැළවීමේ වෛරස් රෝගයේ වාහකයා වශයෙනි. මෙයට අමතරව ගසෙහි යුෂ උරා බීම ද සිදු කරයි.

පාලනය

පිටි මකුණක් වගා‍වේ විවිධ ස්ථාන කරා රැගෙන යනු ලබන්නේ කුහුඹුවන් විසිනි. එනිසා වෛරස් මැලවීමේ රෝගය පාලනය කිරීම සඳහා වගාවේ කුහුඹුවන් හා පිටි මකුණන් යන දෙවර්ගයම පාලනය කිරීමට පියවර ගත යුතුය.

මේ සඳහා,
මොරෙයියන් සිටුවීමට පෙර කෘමි නාශකයක් යොදා පූර්ව ප්‍රතිකාර කරන්න.

වගාව තුල වල් පැළ හොඳින් පාලනය කරන්න. මේ සඳහා වීසි කැති යොදා ගත හැකිය. මෙවිට පිටි මකුණන් ආහාරයට ගන්නා මකුළුවන් වැනි කුඩා සතුන්ට වඩා හිතකර පරිසරයක් ඇති වේ.

පවතින වගාවක ගස් මැලවී යන බව දක්නට ලැබුණු විගස එම ගස් හොඳින් පරීක්ෂා කර බලන්න. මැලවීමට හේතුව පාදස්ථ කුණුවීම නොව වෛරස් රෝගයම බව අහඹු ලෙස ගස් කිහිපයක් ගලවා පරීක්ෂා කර තහවුරු කර ගන්න. ඉන් පසු ඉහත කෘමි නාශක මිශ්‍රණය ගස්වල පත්‍ර පාදස්ථය හොඳින් තෙමෙන සේ යොදන්න.