අන්නාසි - අනානාස් කොමොසස්

අන්නාසි, බ්‍රොමිලියේසි කුළයට අයත් බෝගයකි. මෙහි මුලාරම්භය බ්‍රසීලය යයි සලකනු ලැබේ. එය අළුත් පළතුරක් වශයෙන්ද, ටින්වල අසුරන පළතුරක් ලෙසට ජෑම් සහ කෝඩියල් ආකාරයටද ආහාරයට ගනු ලැබේ. වෙනත් බොහෝ පළතුරු වර්ගවලට වඩා දේශීයව හා විදේශීයව පවතින ඉල්ලුම අධික නිසා මෙය වැඩි වාණිජමය වැදගත්කමක් සහිත බෝගයක් වශයෙන් සලකනු ලැබේ.

චීනය, පිලිපීනය වැනි රටවල අන්නාසි පත්‍ර වලින් ලබාගන්නා කෙඳි රෙදිපිළි නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. එසේම ඉදුණු ගෙඩිවලින් වයින් සහ විනාකිරි නිපදවනු ලැබේ.

ඖෂධීය ගුණ :

ඵලයෙහි සහ පත්‍රවල යුෂයෙහි පණු නාශක ගුණ පවතී. එසේම විරේක බෙහෙතක් ලෙසද ඉක්කා වැටීම නවතා ගැනීම සඳහාද පත්‍ර මිරිකා ලබාගන්නා යුෂ යොදා ගැනේ.

නොමේරූ ගෙඩිවල යුෂයෙහි අඩංගු විෂ සහිත සංයෝගයක් මඟින් බඩ විරේක වීම සහ ගබ්සාවීම සිදුවේ. අමු ගෙඩි විනාකිරි සමඟ ආහාරයට ගැනීමෙන් උදරයෙහි වායු එක්රැස්වීම (බඩ පිපීම) මගහැරී යයි.

ඉදුණු ගෙඩිවල යුෂය සෙංගමාලය සහ පාචනය සඳහා ඖෂධයකි. අන්නාසි ගෙඩියේ අඩංගු බ්‍රොමීලින් නම් එන්සයිමය නිසා ආහාර දිරවීම පහසු කරවයි.

පෝෂණීය අගය

අන්නාසි මදය ග්‍රෑම් 100 ක අඩංගු ද්‍රව්‍යයන් :

ජලය ග්‍රෑම් 87.5
ශක්තිය කි. කැලරි 46
ප්‍රෝටීන් ග්‍රෑම් 0.4
මේද ග්‍රෑම් 0.1
පිෂ්ඨය ග්‍රෑම් 10.8
කැල්සියම් මි.ග්‍රෑම් 20
පොස්පරස් ග්‍රෑම් 9.0
යකඩ මි. ග්‍රෑම් 1.2
කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 18
තයමින් මයික්‍රො ග්‍රෑම් 200
රයිබොෆ්ලේවින් මයික්‍රො ග්‍රෑම් 120
නයසින් මයික්‍රො ග්‍රෑම් 0.1
විටමින් සී මයික්‍රො ග්‍රෑම් 39

දේශගුණික අවශ්‍යතා

වසරකට මිලි මීටර් 1500-3000 පමණ වර්ෂාපතනයක් සහ සෙන්ටිග්‍රේට් අංශක 24-32 පමණ උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ වගාව සඳහා වඩා සුදුසුය.

මේ අනුව පහතරට තෙත් කලාපයේ ගම්පහ, කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලද, පහතරට අන්තර් කලාපයේ කුරුණෑගල, හලාවත, වලස්මුල්ල, බෙලිඅත්ත, මහඔය, පදියතලාව, මොනරාගල ප්‍රදේශයන්හි සහ මහවැලි සී කලාපය තුළ ද අන්නාසි වගාව ඉතා සාර්ථකව කල හැකිය. උඩරට අතරමැදි කලාපයට අයත් ප්‍රදේශ අතුරින් බදුල්ල සහ හාලි ඇල ප්‍රදේශ වගාව සඳහා සුදුසුය.

පස

වගාවට ඉතාම සුදුසු වන්නේ වැලි සහිත ලෝම පසකි. මැටි හෝ හුණු අධික පස් වගාව සඳහා නුසුදුසුය. එසේම හොඳින් ජලය බැස නොයන ඉඩම්වල ද වගාව සාර්ථක නොවේ. එසේ පී.එච්. අගය 5.5-6 වීම වඩා සුදුසුය.