පැල නිෂ්පාදනය

බද්ධ ක්‍රම, අතු බැඳීම හා දඬු කැබලි යන ක්‍රම මඟින් මිදි පැල නිපදවා ගත හැකිය. එහෙත් වාණිජ වගාවක් සඳහා අප රටේ වඩා සරල හා පහසු ක්‍රමය වන්නේ දඬු කැබලි මඟින් පැල සකස් කර ගැනීමයි.

දඬු කැබලි මඟින් පැල නිපදවා ගැනීම

වැල් තෝරා ගැනීම

පැල නිෂ්පාදනය කර ගැනීම සඳහා දඬු කැබලි ලබා ගත යුත්තේ තෝරා ගත් වැල් වලින් පමණි. මේ සඳහා උසස් අස්වැන්නක් ලබා දෙන නිරෝගී‍, ගුණාත්මයෙන් වැඩ ගෙඩි හට ගන්නා, ප්‍රදේ‍්‍රශයට වඩා ගැළපෙන ප්‍රභේදයක වැල් තෝරා ගන්න.

සාමාන්‍යයෙන් දඬු කැබලි ලබා ගන්නේ මිදි වැල් කප්පාදු කරන අවස්ථාවේදී ය.

දඬු කැබලි තෝරා ගැනීම

මුල් අද්දවා ගැනීම සඳහා සුදුසු දඬු කැබලි තෝරා ගැනීමේදී පහත සඳහන් කරැණු පිළිබඳව විශේෂයෙන් සැළකිළිමත් වන්න.

පසු ගිය කන්නයේ කප්පාදුවෙන් පසුව හටගත් දුඹුරු පැහැති, ‍මේරු නිරෝගි දඩු (දල දඬු) තෝරා ගන්න. දඬු කැබැල්ලේ අංකුර අක්‍රීය තත්වයේ පැවතිය යුතුය.

මෙම දඩු පැන්සලයක විශ්කම්භයට වඩා වැඩි විය යුතුය. එනම් විශ්කම්භය සෙන්ටි මීටරයක් පමණ වීම වඩා සුදුසුය. දඬු වල විශ්කම්භය මෙයට වඩා වැඩි හෝ අඩු හෝ වුවහොත් මුල් හට ගැනීම අඩු විය හැකිය.

මුල් අද්දවා ගැනීම සඳහා යොදා ගන්නා දඬු කැබැල්ලක් සෙන්ටි මීටර 25-30 (අඟල් 10-12) දිග වන පරිදි සහ ගැට 4ක් පමණ අඩංගු වන සේ කපා ගන්න. මෙවැනි දඬු කැබැල්ලක අවම වශයෙන් ගැට 3-4ක් වත් තිබීම අත්‍යාවශ්‍යය. දඩු කැබැල්ලේ යාබද ගැට දෙකක් අතර (පර්වයක) දුර අඟල් 3ක් (සෙන්ටි මීටර 6.5-7) පමණවත් විය යුතුය.
දෙසැම්බර් මස කප්පාදුවෙන් ලබා ගන්නා අතු කැබලි වලින් වඩා සාර්ථකව මුල් අද්දවා ගත හැකි බව පෙනී ගොස් තිබේ.
දඬු කැබැල්ලක යාබද ගැට 2ක් අතර දුර (පර්වයක) ඉතා වැඩි වූ විට එහි අඩංගු තැන්පත් ආහාර ප්‍රමාණය අඩුය. එසේම පර්ව ඉතා කෙටි නම් එය රෝගයක් හෝ වෙනත් අයහපත් තත්ත්වයක් නිසා හෝ විය හැකිය. ඒ නිසා මෙවැනි දඬු කැබලි මුල් අද්දවා ගැනීම සඳහා යොදා ගැනීමට එතරම් සුදුසු නොවේ.

දඬු කැබලි සකසා ගැනීම

මුල් අද්දවා ගැනීමට දඬු කැබලි සකසා ගැනීමේදී දඬු කැබැල්ලේ ඉහළින්ම ඇති ගැටයේ සිට සෙ.මීටර 1ක් (අඟල් 1/2ක්) පමණ ඉහළින් හරස් අතට කපා ගන්න. ඉන් පසු දඬු කැබැල්ලේ පහතින්ම ඇති අංකුරයට විරුද්ධ දිශාවෙන් ගැටයට ආසන්නයෙන් ආනතව කැපුමක් යොදන්න.

මෙමඟින් දඬු කැබැල්ලේ ඉහල හා පහල කෙලවරවල් පහසුවෙන් හඳුනා ගත හැකිය. මෙය‍ට අමතරව ඉහල කෙළවරින් ජලය හානි වීමද අවම වේ. පහළ කැපුම් තලය ආනත හැඩයක් ගන්නා නිසා එහි මතුපිට ක්ෂේත්‍රඵලය වැඩි වේ. එය මුල් හට ගැනීමට හේතු වන , කිණක පටක, වැඩි ප්‍රමාණයක් හට ගන්වා ගැනීමට උපකාරී වේ.

ඉහත අන්දමට කපා ගත් දඬු කැබලි කැප්ටාන් වැනි දිලීර නාශක ද්‍රාවණයක විනාඩි 5ක් පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ගිල්වා තබන්න. මෙය වැදගත් වන්නේ දිලීර රෝග වලින් දඬු කැබලි ආරක්ෂා කර ගැනීම සඳහාය.

මුල් අද්දවා ගැනීමට සූදානම් කර ගැනීම

කපා ගත් දඬු කැබලි එක වරම පොලිතීන් බඳුන් වල සිටුවීම සුදුසු නොවේ. මෙවැනි දඬු කැබලි වලින් පැල නිපදවා ගැනීමේ හැකියාව ඇත්තේ 10%ක් පමණ ඉතා අඩු මට්ටමකය.

මුල් අද්දවා ගැනීම ක්‍රම කිහිපයකට කළ හැකිය. මෙහි පහත සඳහන් පළමු ක්‍රම 3 සඳහා කැබලි 25 ක් පමණ සංඛ්‍යාවක් අඩංගු වන පරිදි දඬු කැබලි මිටි වශයෙන් සකසා ගත යුතුය.

01) වැලි බඳුනක් යොදා ගැනීම

මේ සඳහා සෙවන සහිත ස්ථානයක ලී හෝ ගඩොල් වලින් හෝ සෙ.මී. 45 ක් පමණ උස පෙට්ටියක් සාදා ගන්න. මෙහි දිග සහ පළල මුල් අද්දවා ගත යුතු දඬු ප්‍රමාණය මත තීරණය කර ගන්න.

පෙට්ටියේ පතුලට සෙ.මී. 15 ක් (අඟල් 6ක්) පමණ පිරිසිදු වැලි තට්ටුවක් දමා ඒ මත දඬු කැබලි මිටි හරස් අතට සිටින සේ තට්ටු වශයෙන් අසුරන්න. මෙලෙස තැන්පත් කරනු ලබන සෑම දඬු කැබලි මිටි තට්ටුවක්ම වැලි තටිටුවකින් වසන්න.


ඉන්පසු ඉහළින්ම තැන්පත් කළ දඬු කැබලි මිටි සම්පුර්ණයෙන්ම වැසී යන පරිදි සෙ.මී. 10 (අඟල් 4ක්) පමණ ඝණකමක් සහිත වැලි තට්ටුවක් දමන්න.


මෙම වැලි තට්ටුව හොඳින් තෙත් කර තෙත් ගෝනියකින් වසන්න.
වැලි තට්ිටුව වියළීයාම වලකා ගැනීම සඳහා වරින් වර ජලය සපයන්න.


වැලි බඳුනෙහි තැන්පත් කර දින 10-15 පමණ ගත වු පසු දඩු කැබලි වල කැපුම් පෘෂ්ඨය මත ඉදිමුමක් වැනි වර්ධනයක් (කිනක) ඇති වේ.මෙලෙස කිනක පටක හොඳින් වර්ධනය වී ඇති දඬු කැබලි බඳුන් කිරීම සඳහා සුදුසුය.

කිනක වැඩී නොමැති දඬු කැබලි තෝරා නැවත වැලි බඳුනේ තැන්පත් කර තව දින කිහිපයක් තිබීමට ඉඩ හරින්න.

02) පොලිතීන් බඳුන් යොදා ගැනීම

සෙන්ටි මීටර් 30 ක් පමණ පළල හා සෙන්ටි මීටර් 50-60 ක් පමණ දිග පොලිතින් කැබලි ගෙන එහි එක් කෙළවරක් මුද්‍රා තබන්න (සීල් කරන්න). ඉන් පසු දිලීර නාශක ද්‍රාවණයේ ගිල්වා ගත් දඬු කැබලි මිටියක් එය තුළට දමා පොලිතින් බඳුනේ ඉතිරි කෙළවරද මුද්‍රා තබන්න.

මේ අන්දමට දඬු කැබලි අඩංගු පොලිතින් බඳුන් අඳුරු ස්ථානයක දින 10 ක් පමණ තැන්පත් කර තබන්න. එවිට දබු කැබලිවල කැපුම් පෘෂ්ඨ මත කිනක වර්ධනය වේ. මේ බව පොලිතින් බඳුන පිටතින් පරීක්ෂා කළ විට ඉතා හොඳින් දැකගත හැකිය.


මෙයට අමතරව, දඬු කැබලි මිටි අඩංගු පොලිතින් බඳුන් අඳුරේ නොතබා ශීතකරණයක් තුළ දින 8-10 පමණ කාලයක් තැන්පත් කිරීමෙන්ද කිනක වර්ධනය කරගත හැකිය.

03) කොහුබත් මාධ්‍යක් යොදා ගැනීම

මෙහිදීද පෙර ක්‍රමයේදී මෙන් පොලිතින් බඳුන් සකසා එය තුලට දිලීර නාශක ද්‍රාවණයක ගිල්වා ගත් දඬු කැබලි මිටියක් ඇතුල් කරන්න. ඉන්පසුව දඬු කැබලි මිටිය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ තෙත කොහුබත් (ගුලියක් ලෙස අතින් තද කළ විට ජලය වෑස්සෙන-නොවෑස්සෙන පදමට තෙත් කළ) වලින් පුරවා පොලිතින් බඳුනේ විවෘත කෙළවර මුද්‍රා තබන්න.

පදමට තෙත් කල කොහුබත්

කොහුබත් මාධ්‍යය තුල දඬු කැබලි මිටිය
තැන්පත්කර ඇති ආකාරය (හරස්කඩ පෙනුම)

මේ සඳහා යොදා ගන්නා කොහුබත්, හෝමායි වැනි දිලීර නාශකයක් සමඟ මිශ්‍ර කිරීම වඩා සුදුසුය. මේ අන්දම සකසාගත් පොලිතීන් බඳුන් සෙවන සහිත ස්ථානයක තැන්පත් කරන්න. දින 10-15 දී පමණ දඬු කැබලි වල කැපුම් තල මත කිනක වර්ධනය වේ.

ඉහත සඳහන් විවිධ ක්‍රම මඟින් කිනක හොඳින් වර්ධනය කර ගත් දඬු කැබලි පමණක් තෝරා ගෙන පොලිතින් බඳුන් වල සිටුවන්න. එවැනි දඬු කැබලි වලින් සාර්ථක ලෙස මුල් හට ගනී.

මෙම ක්‍රම අතුරින් වඩා සාර්ථකව දඬු මුල් අද්දවා ගත හැකි වන්නේ කොහුබත් මාධ්‍ය භාවිතා කළ විටය.

04) වැලි තවානක මුල් අද්දවා ගැනීම

වැලි තවාන් සඳහා සෙවන සහිත එළිමහන් ස්ථානයක් තෝරාගන්න. ‍මේ සඳහා මඬුවක්, හරිතාගාරයක් හෝ ශාක ප්‍රචාරණය සඳහා සකස් කරගත් කුටියක් යොදා ගත හැකියි.

මෙම ස්ථානයේ සෙන්ටිමීටර් 12 - 15 (අඟල් 5-6) ඝණකමට සිටින සේ වැලි තට්ටුවක් දමා අවශ්‍ය දිග හා පළලට අනුව ගඩොල් හෝ ලී කැබලි වලින් අසුරා ගන්න. තවාන් සඳහා පිරිසිදු වැලි පමණක් භාවිතා කරන්න. එසේම යොදන ජලය පහසුවෙන් බැස යන ස්ථානයක තවාන සකස් කර ගත යුතුය.

දඬු කැබලි කපා ගත් විගස එහි පහළ කෙළවර එනම් ආනතව කැපූ කෙලවර සමඟ දඬු කැබැල්ලේ ගැට දෙකක් වැලි වලින් යට වන සේ සිටුවන්න. සිටවූ දඬු කැබලි වියළීයාම වළකා ගැනීම සඳහා වරින් වර වැලි තවානට ප්‍රවේශමෙන් ජලය යොදන්න.

මේ අන්දමට වැලි තවානේ සිටුවා ගත් පැළ වලින් සති 4ක් පමණ ගතවු පසුව මුල් හට ගැනීම සිදුවේ. එවිට එවැනි දඬු පොලිතීන් බඳුන්වල සිටුවිය හැකිය.

ගොවීන් වැඩිදෙනෙකු විසින් දැනට බහුල වශයෙන් අනුගමනය කරන්නේ මෙම ක්‍රමයයි. කෙසේ වුවද ඉහතින් විස්තර කර ඇති ක්‍රම තුන මඟින් තරම් මෙමඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම අපහසුය.

බඳුන් සකසා ගැනීම

ගේජ් 250 - 300 ‍‍පොලිතීන් වලින් පළල සෙ.මී. 15 ක් හා උස සෙන්ටිමීටර් 25-30ක් වූ බඳුන් සකසා ගන්න. දිරාපත් වූ ගොම හෝ කොම්පෝස්ට්, වැලි සහ මතුපිට පස් සම අනුපාතයට මිශ්‍රකර ගැනීමෙන් බඳුන් මිශ්‍රණය සකසා ගන්න. කෙසේ වුවද මතුපිට පස්වල මැටි ප්‍රමාණය අනුව බඳුන් මිශ්‍රණය සඳහා භාවිතා කරනු ලබන වැලි සහ කොම්පෝස්ට් ප්‍රමාණය වෙනස් කරගන්න. ඉන්පසු සකස් කරගත් පොලිතීන් බඳුන්වලට මෙම බඳුන් මිශ්‍රණය පුරවන්න.

දඬු කැබලි සිටුවීම

පහළ කැපුම් පෘෂ්ඨයේ කිනක පටක හා කුඩා කිරි මුල් හටගෙන ඇති සහ දණ්ඩේ ඉහළ කෙළවර පත්‍ර අංකුර මෝදු වීමට ආසන්න වී ඇති දඬු කැබලි පමණක් බඳුන් කිරීම සඳහා තෝරා ගන්න.

අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දිගකින් යුතුව මුල් වැඩී ඇති සහ අංකුර වල පත්‍ර විහිදී ඇති දඬු කැබලි බඳුන් කළ විට වැඩි ප්‍රමාණයක් මිය යාමට ඉඩ ඇත. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ මුල් හට ගන්වා ගැනීම සඳහා යොදා ගන්නා මාධ්‍යය තුළ වැඩි කාළයක් දඬු කැබලි තිබීමට ඉඩ හැරීම නිසාය.

දඬු කැබලි බඳුන් කිරීම සඳහා පළමුවෙන්ම සකස් කරගත් බඳුන්වල ප්‍රමාණයෙන් අඩක් පමණ නියමිත බඳුන් මාධ්‍යයෙන් පුරවා ගන්න. තෝරාගත් දඬු කැබැල්ල කිරි මුල් නොකැඩෙන පරිදි බඳුනෙහි හරි මැදින් බඳුන් මාධ්‍යය මත ප්‍රවේශමෙන් තැන්පත් කර එය මතට බඳුන් මධ්‍යයෙහි ඉතිරි කොටස දමන්න. අවම වශයෙන් දණ්ඩෙහි ගැට දෙකක්වත් බඳුන් මාධ්‍යයෙන් පිටතට සිටින සේ මාධ්‍ය පුරවා ගන්න.

කෙසේ වුවද බඳුනට ජලය සැපයීම සාර්ථකව සිදුකර ගැනීම සඳහා බඳුනෙහි ඉහළ කෙළවරින් සෙන්ටිමීටර් 2-3 පමණ පහළින් සිටින සේ මාධ්‍යය පුරවා ගැනීම වැදගත්ය. සපයන වැඩි ජලය ඉවත් වීම සඳහා බඳුන්වල පහළින් සිදුරු කිහිපයක් සැකසීම ද කළ යුතුය.

මේ අන්දමට දඬු කැබලි සිටුවන ලද බඳුන් සෙවන සහිත ස්ථානයක තැන්පත් කර ජලය සපයන්න. පහළ කැපුම් තලයේ කිනක වර්ධනය වී ඇති දඬු කැබලි මෙලෙස සිටුවා සති ‍2-3 පමණ ගතවු පසුව අංකුර වැඩීම ආරම්භ වේ. මේ අන්දමට බඳුන්වල සිටුවා ගත් දඬු කැබලි වලින් හට ගන්නා පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු අවස්ථාවට පත් වීමට මාස 3-4 ක් පමණ කාලයක් ගත වේ.

කෙසේ වුවද මෙයට වැඩි කාලයක් බඳුන් වල පැළ තිබීමට ඉඩ හැරීමෙන් පැළවල වර්ධනය නැවතී ඇති ස්වභාවයකට පත් වේ. මෙවැනි පැළ සිටුවීමට බලාපොරොත්තු වන අවස්ථාව එළඹීමට සති 2-3 කට පමණ පෙර දණ්ඩේ හොඳින් මේරූ දුඹුරු පැහැති කොටසේ ගැට 2-3 ක් පමණ ඉතිරි වන සේ සෙසු කොටස් කපා ඉවත් කළ යුතුය.

සිටුවීමට සුදුසු කාලය

අප රටේ වියළි කලාපයේ පවතින දේශගුණික තත්ත්ව අනුව මිදි පැළ සිටුවීම සඳහා වඩා සුදුසු වන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි - මාර්තු සහ ජූනි අගෝස්තු දක්වා කාලයන්හිදීය. තද වැසි කාළයන්හිදී පැළ සිටුවීම සුදුසු නොවේ.

තද වැසි කාළයන්හිදී සිටවූ පැළවල වර්ධනය දුර්වල වේ. මෙයට අමතරව පැළවලට රෝග වැළදී විනාශ වීමට ඇති හැකියාව ද වැඩිය.

වෙනත් බෝග සඳහා මෙන් නොව මිදි පැළ සිටුවිය යුතු වඩා යෝග්‍යතම අවස්ථාව ලෙස තීරණය කළ යුත්තේ වැසි සමය අවසාන වී ලැබෙන වියළි කාළය ආරම්භ වූ අවස්ථාවයි.

සුදුසු ස්ථානයක් තේරීම

මිදි වගාව සඳහා තෝරා ගත යුත්තේ හොඳින් හිරු එළිය ලැබෙන, තද සුළං වලින් ආවරණය වූ, ජල සම්පාදන පහසුකම් සහිත ඉඩම්ය. මෙය සමතලා ඉඩමක් නම් වඩා සුදුසුය. තරමක් බෑවුම් සහිත ඉඩමක නම් සමෝච්ච ක්‍රමයට ජලය සැපයීමට පහසුවන පරිදි වේදිකා සකසා ගන්න. මෙමඟින් වගාවට ජලය සැපයීම පහසු වේ.

සිටුවීමේ පරතරය

මිදි සිටුවීම සඳහා අනුගමනය කළ යුතු පරතරය වැල් පුහුණු කිරීමට බලාපොරොත්තු වන ක්‍රමය අනුව වෙනස් වේ.

පන්දලම් ක්‍රමය

පැළ අතර මීටර් 7.6 x පේලි අතර මීටර් 3.6 (අඩි 24 x අඩි 12)

වැට ක්‍රමය

පැළ අතර මීටර් 3.6 x පේලි අතර මීටර් 1.8 (අඩි 12 x අඩි 6)

පඳුරු ක්‍රමය

පැළ අතර මීටර් 1.8 x පේලි අතර මීටර් 1.8 (අඩි 6 x අඩි 6)

වළවල් සකසා ගැනීම

මිදි වැලක් වසර තිහක් පමණ කාලයක් දක්වා වුවද ආර්ථිකව ලාභදායිව සාර්ථකව නඩත්තු කළ හැකිය. ඒ නිසා වගාව ආරම්භයේ සිටම විශේෂ අවධානයක් යොමු කර කටයුතු කළ යුතුය.

වගාවේ පැළ පේළි පිහිටන දිසාව, ජල සම්පාදන ක්‍රමය, ඉඩමේ බෑවුම සහ සුළං හමන දිසාව වැනි කරුණු මත තීරණය විය යුතුය. පළමුවෙන්ම වගාවට ජලය සැපයීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳව දල අදහසක් හෝ තිබීම වැදගත්ය. උදාහරණයක් ලෙස මතුපිට කානු පද්ධතියක් යොදාගෙන ජල සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පේළි විහිදිය යුත්තේ ඉඩමේ බෑවුමේ හරස් අතටය.

සුළඟ නිසා වැල්වලට ඇති විය හැකි හානි ද හැකිතාක් දුරට අඩුකර ගත යුතුය. මේ සඳහා සෑම අවස්ථාවකදීම, මැසි ක්‍රමයේදී නම් මීටර් 8 ක පරතරය ලබා දෙන දිසාවද, වැට ක්‍රමයේදී නම් වැට පිහිටන දිසාවට සමාන්තර විය යුතුය.

කෙසේ වුවද විශේෂයෙන් වැදගත් වන්නේ ජලසම්පාදන ක්‍රමයට ගැලපෙන පරිදි වගාවේ පේළි සකසා ගැනීමයි.

පැළ සිටුවීම සඳහා සකස් කරනු ලබන වලක දිග, පළල හා උස අවම වශයෙන් මීටරයක් බැඟින් විය යුතුය. වල කැපීමේදී මතුපිට පස් හා යටි පස් වෙන් වෙන් වශයෙන් වල අසල ගොඩ කරන්න.

මෙසේ ලැබෙන යටි පස නැවත වල පිරවීම සඳහා භාවිතා නොකරන්න.

 

කපා ගත් සෑම වලක් සඳහාම හොඳින් දිරාපත් වූ ගොම පොහොර හෝ වෙනත් කාබනික පොහොර වර්ගයක් හෝ විල්බැරැක්ක තුනක් පමණ (කිලෝග්‍රෑම් 50) අවශ්‍ය වේ. ඉන්පසුව වල කැපීමේදී වෙන්කර ගත් මතුපිට පස් අවට ප්‍රදේශයෙන් ලබාගත් මතුපිට පස් හා කාබනික පොහොර සමඟ වල අසලදීම කලවම් කර එම මිශ්‍රණයෙන් වල පුරවන්න.

ඉන්පසු මාසයක් පමණ කාළයක් මෙම මිශ්‍රණය වලෙ‍හි හොඳින් තැන්පත් වීමට ඉඩ හරින්න.

පැළ සිටුවීමට දින කිහිපයකට පෙර මූලික පොහොර ලෙස යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය වලට යොදන්න. මෙම රසායනික පොහොර, වලෙහි මතුපිට ප්‍රදේශයේ ඇති කාබනික හා මතුපිට පස් සමඟ පමණක් කලවම් කරගැනීම ප්‍රමාණවත් නොවේ. එවිට සිටුවීමෙන් පසු පැළ මිය යාමට ඉඩ තිබේ. ඒ නිසා මූලික පොහොර වලෙහි ඇති මතුපිට පස් හා කාබනික පොහොර සම්පූර්ණ ප්‍රමාණයම සමඟ ඉතා හොඳින් කළවම් කරගන්න.

පැළ සිටුවීම

පළමුව මිදි පැළ අඩංගු බඳුන්වල පොලිතීනය ඉවත් කරන්න. ඉන්පසු සකස් කරගත් වල මැදට වන සේ පැළය ප්‍රවේශමෙන් සිටුවන්න. පැළය සිටුවීමේදී බඳුන් මාධ්‍යයට ව්සිරී නොයාමට වග බලාගන්න.

මාස 1ට වඩා වැඩි කාළයක් බඳුනේ තිබූ මිදි පැළ සිටුවීමට පෙර, බඳුන පතුලේ ගැට ගැසී ඇති මුල් තට්ටුව කපා ඉවත් කරන්න. පොලිතීනය ඉවත් කරන අවස්ථාවේදී බඳුන පතුලේ සිට සෙන්ටිමීටරයක් පමණ ඉහළින් කපා දැමීමෙන් මෙම මුල් තට්ටුව ඉවත් කළ හැකිය.

එසේම සිටුවන අවස්ථාව වන විට පැළය බඳුන් කර වැඩි කාළයක් ගතවී තිබේ නම්, එහි රිකිල්ල අනවශ්‍ය පරිදි දික් වී තිබීමට ඉඩ තිබේ. එවිට පැළයේ මේරූ දුඹුරු පැහැති ගැට 2-3 පමණ ඉතිරිවන සේ සිටුවීමට සති 2 පමණ පෙර රිකිල්ලේ අග කෙළවර කපා දමා පැළ සිටුවන්න. පැළය සිටුවීමෙන් පසු ආධාරකයක් ලෙස කෝටුවක් පැළයෙන් සෙන්ටිමීටර් 15 ක් (අඟල් 6) පමණ දුරින් සිටුවා එයට පැළය බඳින්න.

වැල් පුහුණු කිරීම

වැල් පුහුණු කිරීම මඟින් ශක්තිමත් සැකිල්ලක් ලබා ගැනීමට ද, කප්පාදු කිරීම, කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම, අස්වැන්න නෙලීම හා වෙනත් වගා කටයුතු පහසුවීමට ද හේතු වේ. සාමාන‍්‍යයෙන් මිදි වැල් පුහුණු කිරීම සඳහා අනුගමනය කළ යුතු වඩා සුදුසු ක්‍රමය තීරණය වන්නේ වගා කිරීමට බලාපොරොත්තුවන මිදි ප්‍රභේදයේ විශේෂ ලක්ෂණ මතය. එසේම වගාව සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය සහ මිදි අස්වැන්න කුමන කාර්යක් සඳහා ‍යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ ද යන්න මතද අනුගමනය කල යුතු වැල් පුහුණු කිරීමේ ක්‍රමය වෙනස් වේ.

පන්දලම් ක්‍රමය

මේ සඳහා ආධාරක කණු වශයෙන් කොන්ක්‍රීට් හෝ කල්පවතින ලී කණු නැතහොත් ගැල්වනයිස් යකඩ බට භාවිතා කළ හැකිය. මිදි වැලක් වසර 30 පමණ කාලයක් ආර්ථිකව පවත්වා ගත හැකි නිසා එයට සරිලන පරිදි පන්දලම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය තෝරා ගැනීම වැදගත්ය.

මීටර් 8 දිග හා මීටර් 4 පළල ඍජුකෝණාස්‍රයක පැළ සිටුවා ඇති වල හරි මැ‍දට සිටින සේ ආධාරක කණු සිටුවන්න. මෙම ආධාරක

කණුවක් සෙන්ටිමීටර් 240 පමණ (අඩි 8) උස විය යුතුය. කණුවේ සෙන්ටිමීටර් 45 (අඩි1 1/2) පමණ උස ප්‍රදේශයක් දක්වා පසට යට කිරීමෙන් පන්දලමේ උස සෙන්ටිමීටර් 195 (අඩි 6 1/2) පමණ මට්ටමකින් තබා ගත හැකිය. ‍

කෙසේ වුවද පන්දලමේ උස තීරණය විය යුත්තේ වගාකරුට පහසුවෙන් අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමට ඉඩ සැලසෙන පරිදිය. මේ සඳහා අත ඉහළට එසවූ විට මැණික් කටුවෙහි මට්ටම ආධාරක කණුවල ඉහළ මට්ටම වන සේ උස සකස් කරගත යුතුය. මෙම කණු මත ගැල්වනයිස් බට හෝ ශක්තිමත් ලී සහ ගේජ් 8 හා 12 කම්බි යොදා මැස්ස සකසා ගන්න.

මෙහිදී පළමුවෙන්ම පන්දලමේ පිටතින් සිටුවා ඇති ආධාරක කණු මත අඟලක විශ්කම්භයක් ඇති ගැල්වනයිස් බට, ශක්තිමත් ලී දඬු හෝ අඟල්
1 x 2 ප්‍රමාණයේ ''එල්'' හැඩැති යකඩ පටි යොදා හොඳින් තද කරගන්න. විශාල පන්දලම් සඳහා මෙවැනි ''එල්'' හැඩැති යකඩ පටි යොදා ගැනීම වඩා සුදුසුය.

ඉන් පසුව පන්දලම ඇතුලතින් පිහිටි සෑම ආධාරක කණුවක් මතින්ම ගේජ් 8 හෝ 10 ප්‍රමාණයේ ඝණකම් කම්බි ඇද පන්දලමේ පිටත කණු සමඟ සම්බන්ධ කරන්න.

‍පන්දලමේ පිටතින්ම ඇති ආධාරක කණු සිරස්ව තබා ගැනීමට හැකි වන පරිදි මෙම කම්බි පන්දලමට පිටතින් පොළොවෙහි ආනතව සවි කර ඇති කූඤ්ඤවලට තදින් ගැට ගසන්න.

එසේ නැතහොත් පන්දලමේ පිටතින්ම ඇති කණුවලට සෙන්ටිමීටර් 50 - 60 පමණ දුරකින් තවත් කණුවක් පන්දලමට පිටතින් සිටුවන්න. ඉන් පසු එම කණු දෙක ඉණි මඟක හරස් පටි පිහිටන ආකාරයට ස්ථාන 3 - 4 කින් පමණ යකඩ පටි දමා තද කරගන්න. මෙම කණු දෙකටම තද වන සේ ආධාරක කණුවල ඉහළ කෙලවරින් කම්බි අදින්න.

පන්දලමේ සෑම යාබඳ කණු දෙකක් අතර පවතින මීටර් 1 දුර ප්‍රමාණය සමාන කොටස් 3කට බෙදෙන සේ ගේජ් 8 හෝ 10 කම්බි අඳින්න.

මෙම අවස්ථාව වන විට සෑම කණු 4ක් අතර පවතින ඉඩ ප්‍රමාණය ගේජ් 8 හෝ 10 කම්බි වලින් සමාන ප්‍රමාණයේ කොටු 9කට බෙදී ඇති බව පෙනේ.

මෙයට පසුව පන්දලමේ දිග සහ පළල දෙපැත්ත ඔස්සේම සෙන්ටිමීටර් 25-30 පරතරයකින් ගේජ් 12 කම්බි ඇද හොඳින් තද කරගන්න. පන්දලම මත අදිනු ලබන ගේජ් 8 හෝ 10 සහ 12 ප්‍රමාණයේ කම්බි දෙවර්ගයම යෙදිය යුත්තේ එකිනෙක සමඟ ගෙති ඇති ආකාරයටය.

මූලික වියදම වැඩි වුවත් මෙය අප රටේ වඩා ජනප්‍රිය ක්‍රමයයි.

හොඳින් රැකබලා ගත්විට මිදි පැළය සිටුවා මාස 2 1/2 - 3 පමණ ගතවූ විට එය පන්දලම දක්වා වර්ධනය වේ. මිදි පැළය අසලින් සිටවූ කෝටුවේ ආධාරයෙන් මිදි පැළය පන්දලම දක්වා වැඩීමට සලස්වන්න.


පන්දලමේ සිට පහළට සෙන්ටිමීටර් 15 (අඟල් 6) පමණ මට්ටමක් දක්වා වැ‍ඩෙන තෙක් මිදි වැලෙන් පාර්ශ්වික අතු හටගැනීමට ඉඩ නොදෙන්න. පන්දලම දක්වා වැඩුණු විට එහි කරටිය කපා දමන්න. පන්දලම ආසන්නයෙන් පාර්ශ්වික ශාඛා දෙකක් හට ගැනීමට ඉඩ හැර පන්දලමේ දිග දිසාව ඔස්සේ දෙපසට වැඩීමට සලස්වන්න.

පන්දලම මත දෙපසට වර්ධනය වීමට සලස්වන ප්‍රාථමික ශාඛා වලින් නිසි පරතරයකට සිටින සේ ද්විතීයික ශාඛා ලබාගත යුතුය. මේ සඳහා පළමුවෙන්ම ප්‍රධාන වැලෙන් දෙපසට වැඩීමට සලස්වන ප්‍රාථමික ශාඛා සෙන්ටිමීටර් 30-40 පමණ දික්වූ පසුව අග්‍රස්ථය කපා දමන්න.

එවිට ප්‍රාථමික ශාඛාව ආරම්භ වන ස්ථානය ආසන්නයෙන්ම ද්විතීක ශාඛා දෙකක් දෙපසට වර්ධනය කර ගත හැකිය.

මේ අන්දමට වැලෙහි ප්‍රධාන සැකිල්ල ක්‍රමානුකූලව සකස් කර ගැනීම පිළිබඳව ආරම්භයේ සිටම විශේෂ අවධානයක් යොමු කරන්න.

එමඟින් පන්දලම මත ඒකාකාරව විසිරී පවතින පරිදි මිදි පොකුරු හට ගන්වා ගත හැකිය.

ඉන්පසුව සෑම සෙන්ටිමීටර් 60 පමණ දුරකින් ප්‍රාථමික ශාඛාවේ අග්‍රස්ථය කපා දමන්න. මෙය වැදගත් වන්නේ පන්දලමේ දිග අතට යොදා ඇති කම්බි දිගේ ප්‍රාථමික ශාඛාවේ සිට දෙපසට ද්විතීයික ශාඛා දෙක බැඟින් වර්ධනය කර ගැනීමට සහ ප්‍රාථමික ශාඛාව පන්දලම දිගේ ඉදිරියට වැඩීමට සලස්වා ගැනීම සඳහා එක් අංකුරයක් වර්ධනය කර ගැනීමට හැකිවීම සඳහාය.

කෙසේ වුවද වැලකින් හටගන්නා ප්‍රාථමික ශාඛාවන් පන්දලම මත එක් දිසාවකට වැඩීමට ඉඩහැරිය යුතු දුර මීටර් 4කි. එයට හේතුව යාබඳ වැලෙන් හටගන්නා ප්‍රාථමික ශාඛාවටද මෙම වැ‍ලෙහි ප්‍රාථමික ශාඛාව වැඩෙන දිසාවට විරුද්ධ දිසාව ඔස්සේ මීටර් 4ක් දුරට වර්ධනය වීමට ඉඩ සලසා දියයුතු නිසාය.

මේ අන්දමට මිදි වැලකින් හටගන්නා ද්විතීයික ශාඛාවක් පන්දලමේ හරස් අතට වැඩීමට ඉඩ හැරිය යුතු උපරිම දුර මීටර් 2කි. එම ස්ථානයෙන් එහි අග්‍රස්ථය කපා දැමීමෙන් යාබඳ පේළියේ සිටුවා ඇති වැලෙන් හටගන්නා ද්විතීයික ශාඛා වලටද මීටර් 2ක දුරක් පන්දලමේ හරස් අතට වැඩීමට ඉඩ ලබා දිය හැකිය. මේ අනුව පන්දලම් ක්‍රමය යටතේ නඩත්තු කරනු ලබන එක් මිදි වැලකින් හට ගන්නා ප්‍රාථමික හා ද්විතීයික ශාඛා වලට පන්දලම මත වර්ග මීටර් 32 පමණ (වර්ග අඩි 288) ප්‍රදේශයක වර්ධනය වීමට ඉඩ ලැබේ.

මේ අන්දමට වැල පුහුණු කිරීමේ ආරම්භක අවස්ථාවේ සිටම ද්විතීයික ශාඛාවන් නිසි පරතරයකින් වර්ධනය වීමට ඉඩ සැලැස්වීමට කටයුතු නොකළහොත් පන්දලම මත හොඳින් විහිදුන සැකිල්ලක් ඇති නොවේ.

 

පන්දලම මත හිඩැස් ඇතිවන මෙවැනි දුර්වල සැකිල්ලක් සහිත මිදි වැලකින් ලබාගත හැක්කේ අඩු අස්වැන්නකි.

මෙම ක්‍රමයේ ප්‍රධාන වාසි කිහිපයකි.

- වේගයෙන් වර්ධනය වන හා වර්ධන දිරිය වැඩි මිදි ප්‍රභේද සඳහා මෙය සුදුසු ක්‍රමයකි.

- පත්‍ර වලට හොඳින් සූර්යාලෝකය ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

- පත්‍ර සෙවන වීම අඩු නිසා වගාවට වැළ‍‍‍‍දෙන බොහෝ දිලීර රෝග පාලනය කිරීම වඩා පහසුයි.

- මිදි පොකුරු පන්දලමින් පහළට එල්ලී පිහිටන බැවින් සුළඟින් ආරක්ෂා වේ. විශේෂයෙන් අලුත් පලතුරක් සඳහා මිදි නිපදවන වගාවන් සඳහා මෙම ක්‍රමය වඩා සුදුසුයි.

- අවශ්‍ය පරිදි වැල් කප්පාදු කර පන්දලම මත වැඩීමට සැලැස්විය හැකිය. ඒනිසා වැඩි අස්වැන්නක් ද ලබා ගැනීමට පිළිවන.

- පන්දලම යට වල් පැළ වර්ධනය වීම අඩුය.

 

කෙසේ වුවද මෙම ක්‍රමයට නඩත්තු කරන වගාවක් සඳහා පළිබෝධනාශක ඉසීමේදී විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.

එක් පන්දලමක උපරිම විශාලත්වය අක්කර භාගයක භූමි ප්‍රමාණයකට සීමා කරන්න. මෙයට වඩා විශාල වගාවන්හි නිශ්චිත කොටස් වශයෙන් වගාව පිහිටුවා වෙන් වෙන් වශයෙන් පන්දලම් සකසා ගන්න. මෙමඟින් වගාවේ නඩත්තු කටයුතු පහසු වේ.

වර්‍ග මීටර් 1000 ක (අක්කර 1/4) මිදි වගාවක් පන්දලම් ක්‍රමයට පිහිටුවා ගැනීම

මිදි වගාව පිළිබඳව පළපුරුද්දක් නැති අයෙකුහට ඉතා අධික මූලික වියදමක් දරා විශාල ප්‍රමාණයෙන් වගාවක් ආරම්භ කිරීම එතරම් නුවණට හුරු නොවේ. එනිසා වර්‍ග මීටර් 1000 ක (අක්කර 1/4) පමණ ප්‍රමාණයේ මිදි වගාවක් ආරම්භයක් වශයෙන් ඇති කිරීම වඩා සුදුසුය.

ඉඩම සමචතුරශ්‍රාකාර හැඩයකින් යුක්ත නම් සහ පැළ පේලි වැඩි සංඛ්‍යාවක් ඇති වන පරිදි වගාව සකස් කර ගත හැකි නම් එය වඩා ලාභදායකය. ඉඩමේ හැඩය අනුව අවශ්‍ය ද්‍රව්‍ය වෙනස් වේ. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයේ මිදි වගාවක් පන්දලම් ක්‍රමයට සකසා ගැනීම සඳහා පහත සඳහන් ද්‍රව්‍ය අවශ්‍යවේ.

අඩි 8 උස කොන්ක්‍රීට් කණු 80-90

මෙම කොන්ක්‍රීට් කණුවල පාදය අඟල් 6 x 6 ප්‍රමාණය ද ඉහළ කෙළවර අඟල් 4 x 4 ප්‍රමාණයද තිබිය යුතුය.

කොන්ක්‍රීට් කණු වෙනුවට අඟල් 1 1/2 ප්‍රමාණයේ ජී.අයි. බට යොදාගන්නේ නම් සම්මත දිගින් යුත් බට 40 අවශ්‍යවේ.

ගේප් 8 හෝ ගේප් 10 ප්‍රමාණයේ ජී.අයි. කම්බි කි.ග්‍රෑ. 90
ගේප් 12 ප්‍රමාණයේ ජී.අයි. කම්බි කි.ග්‍රෑ. 250
අඟල් 1 x 2 එල් හැඩැති යකඩ දඬු 16
සිමෙන්ති කි.ග්‍රෑ.75-100
වැලි සහ ගල් අවශ්‍ය පමණට  

ශ්‍රම අවශ්‍යතාව

කාර්යය මිනිස් දින
වලවල් කැපීම 10
වලවල් පිරවීම 08
පැල සිටුවීම 02
කණු සිටුවීම 15
කම්බි ඇදීම 20

 

වැට ක්‍රමය

සෑම යාබඳ කණු දෙකක් අතරම මිදි පැළ එකක් බැඟින් පිහිටන සේ එකිනෙකට මීටර් 3.6 ක (අඩි 12) දුරින් පේළිය එල්ලේ කණු සිටුවන්න. සිටුවීමෙන් පසුව මෙම කණුවක් පොළව මට්ටමේ සිට මීටර් 2ක් පමණ උස්ව තිබිය යුතුය. මෙම ආධාරක කණු එකිනෙක සම්බන්ධ වන සේ පොළව මට්ටමේ සිට මීටරයක් ඉහළින් සහ ආධාරකය කණුවේ ඉහළ කෙළවර ආසන්නයෙන් හරස් කම්බි අදින්න.

වැඩෙන මිදි පැළය අසලින් පැළ නොවන දිග කෝටුවක් සිටුවන්න. එහි ආධාරයෙන් මිදි පැළය ඍජුව වැඩීමට සලස්වන්න. මෙලෙස වැඩෙන මිදි පැළය පළමුවෙන් පහළ කම්බිය දක්වා වැඩීමට සලස්වන්න. මෙම කම්බියට පහළින් වැලෙහි ප්‍රධාන ක‍දෙන් හටගන්නා සියලුම පාර්ශ්වික අතු කපා ඉවත් කරන්න. එම කම්බිය ආසන්නයෙන් හටගන්නා පාර්ශ්වික ශාඛා (ප්‍රාථමික) දෙකක් එකිනෙකට විරුද්ධ පැති වලට වැඩීමට ඉඩ හරින්න.

ඉන්පසු ඉහළ කම්බිය දක්වා වැල වැඩීමට ඉඩ හරින්න. කමිබියේ ඉහළ මට්ටමට මඳක් ඉහළින් ප්‍රධාන වැලෙහි අග්‍රස්ථය කපා දමන්න. නැවතත් ඉහළ කම්බිය දිගේ පාර්ශ්වික ශාඛා දෙකක් වැලෙහි දෙපසට වැඩීමට ඉඩ හරින්න. හරස් කම්බි දෙක අතර ප්‍රධාන වැලෙන් හටගන්නා අනවශ්‍ය පාර්ශ්වික ශාඛාවල අග්‍රස්ථය කපා දමන්න.

මේ අන්දමට වැලකින් හටගන්නා එක් පාර්ශ්වික ශාඛාවකට හරස් කම්බි දිගේ මීටර් 1.8 (අඩි 6) පමණ දුරක් වැඩීමට ඉඩ සැලසිය හැකිය. ආධාරක කණුවක් දක්වා වැඩුණු පසුව පාර්ශ්වික ශාඛාවල අග්‍රස්ථය කපා දමන්න.

 

කම්බිය දිගේ වැඩීමට ඉඩහරිනු ලබන ප්‍රාථමික ශාඛා වලින් ද්විතීයික ශාඛා හට ගනී. එකිනෙකට සෙන්ටිමීටර් 30 - 45 පමණ (අඩි 1 - 1 1/2) පරතරයකින් ශක්තිමත් ද්විතීයික ශාඛා ලබා ගැනීම වැදගත්ය. මේ සඳහා වරින්වර කම්බිය දිගේ වැඩෙන ප්‍රාථමික ශාඛාවේ අග්‍රස්ථය කපා දමන්න.

මෙම ක්‍රමයට අනුව වගා නඩත්තුව පහසුය. මේ සඳහා පන්දලම් ක්‍රමයට තරම් මුදලක් වැය නොවේ. කෙසේ වුවද එක් වැලකින් ලබාගත හැකි අස්වැන්න පන්දලම් ක්‍රමයේ වැලකින් ලැබෙන අස්වැන්නට වඩා අඩුය.

පඳුරු ක්‍රමය

මේ ක්‍රමයේදි මිදි පැළ සිටුවන්නේ එකිනෙකට මීටර් 1.8 (අඩි 6 ) ක පරතරයකටය.

පැළය අසලින් සිටුවා ඇති ආධාරකයක් දිගේ මිදි වැල ඉහළට වැඩීමට සලස්වන්න. පොළොව මට්ටමේ සිට අඩි 6 ක් (මීටර් 1.8) ඉහළට වැල වැඩුණු පසු, එහි කරටිය කපා දමා පාර්ශ්වික ශාඛා 4 ක් එකිනෙකට විරුද්ධ දිසාවට වැඩීමට සලස්වන්න. ඊට පහලින් ඇති වන සියලුම පාර්ශ්වික ශාඛා ඉවත් කරන්න.

ප්‍රධාන වැලෙන් හට ගන්නා ප්‍රාථමික ශාඛා හතරෙන් ද්විතික ශාඛා වැඩීමට ඉඩ හරින්න.

ඉතාම ලාභදායි ක්‍රමය මෙයයි. නමුත් එක් වැලකින් ලබා ගත හැකි අස්වැන්න ඉහත ක්‍රම දෙකටම වඩා අඩුය. ඉතා වේගයෙන් වර්ධනය නොවන ප්‍රභේද සඳහා මෙම ක්‍රමය වැඩි වශයෙන් යොදා ගනු ලැබේ. මේ අන්දමට නඩත්තු කරනු ලබන මිදි වැලක් ගෝලාකාර හැඩයකින් දිස් වේ. වෙනත් රටවල මෙම ක්‍රමය වැඩි වශයෙන් යොදා ගන්නේ වයින් සහ වියළි මිදි නිපදවීම සඳහා නඩත්තු කරනු ලබන වගාවන්හිය.

''ජිනීවා ද්වී තිර'' ක්‍රමය (Geneva Double Curtain Method,T ක්‍රමය)

මෙහිදී වැට ක්‍රමයේ මෙන්ම පේළි වලට වැල් පිහිටුවන අතර, ‍වැල් දෙකක් අතර පරතරය මීටර් 2.6 ක් හා පේළි දෙකක් අතර මීටර් 4 ක් වශයෙන් පවත්වා ගනු ලැබේ. මුලින් කී ආකාරයට වැට ක්‍රමයේ මෙන් කණු සිටුවිය යුතු අතර, සෑම කණුවකම ඉහළ කෙළවරේ මීටර් 1 ක් දිග ලී පටියක් හෝ යකඩ බටයක් T හැඩය ලැබෙන සේ සවිකරගත යුතුය. ඉන් ගේජ් 8 හෝ 10 ප්‍රමාණයේ කම්බි 3ක් ඉහත විස්තර කළ බාහුවේ දෙකෙළවර හා මැදින් සිටින සේ සවි කරන්න. මේවා අනෙක් කණුවලට ඒ ආකාරයටම තදින් සම්බන්ධ කරගන්න. මෙය වැඩි වෝල්ටීයතාවයක් ඇති විදුලි රැහැන් ඇද ඇති ආකාරයට දිස් වේ.

ඉන් පසු ඉහත කී ගේජ් 8 කම්බි දෙකක් අතරට සිටින සේ තවත් ගේජ් 12 කම්බි‍යක් ඇදගන්න. (පින්තූරයේ දක්වා ඇති ආකාරයට) මීට අමතරව සෑම කණුවකම පොළව මට්ටමේ සිට සෙ.මී 75 ක උසින් සිටින සේ ගේජ් 8 කම්බියක් ඇද ගන්න. මෙම කම්බිය නිසා මෙම කණු සවිමත්ව පොළවේ රැඳී සිටීමට උපකාරි වේ.

කප්පාදු කිරීම

මිදි වැලක් කප්පාදු කිරීමේදි මූලික වශයෙන් සිදුවන්නේ ලපටි හා තරමක් මේරු දඬු කොටස් හා පත්‍ර ඉවත් කිරීමයි. මිදි වැලක් කප්පාදු කිරීමෙන් ලැබෙන වාසි කීපයකි.

- කප්පාදු කිරීම නිසා අඩු ශ්‍රමයකින් රෝග හා පළිබෝධ පාලනය. අස්වැන්න නෙලීම හා වෙනත් වැදගත් වගා පාලන කටයුතු පහසුවන ආකාරයට මිදි වැල සකසා ගැනීමට ඉඩ ලැබේ.

- වැල විහිදි ඇති ප්‍රදේශ තුල ඒකාකාරව ඵල හටගන්නා අංකුර නිපදවා ගැනීමට ද, දිගුකාලීනව වැලකින් ලබා ගන්නා අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩු වැඩි නොවී පවත්වා ගැනීමටද, කප්පාදුව මඟින් හැකියාව ලැබේ.

- මිදි වැලකින් ගුණාත්මයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ද සිර්ථක කප්පාදුවක් නිසා ඉඩ සැලසේ.

- මිදි වැලක මල් හට ගන්නේ මෙම කන්නයේදි හටගත් අළුත් රිකිලි වලය. මෙවැනි අළුත් රිකිලි වැඩි සංඛ්‍යාවක් හට ගන්වා ගැනීම සඳහා කප්පාදු කිරීම අතිශයින් වැදගත් වගා පාලන කටයුත්තක් ලෙස සලකනු ලැබේ.

- මිදි වැලකින් සතුටුදායක අස්වැන්නක් ලබා ගැනීම සඳහා එය නිවැරදි අන්දමට කප්පාදු කළ යුතුයි. බොහෝ මිදි වගාවන්ගෙන් සතුටු දායක අස්වැන්නක් ලබා ගත නොහැකිවී ඇත්තේ ක්‍රමවත් අන්දමට කප්පාදු කිරීම සිදු නොකරන නිසාය.

මිදි වැලෙහි ද්විතික ශාඛාවන්හි තද දුඹුරු පැහැවී ඇති ප්‍රදේශයේ හොඳින් වැඩුනු අංකුර කීපයක් ඉතිරි කර සෙසු කොටස් කපා ඉවත් කරන්න. මේ අන්දමට දඬු කැබැල්ලක ඉතිරි කරනු ලබන අංකුර සංඛ්‍යාව වගා කර ඇති මිදි ප්‍රභේදය, එහි මල් හට ගැනීමේ ස්වභාවය, එනම් පුෂ්ප හටගන්නා අංකුර පිහිටි ප්‍රදේශය, වැලේ වයස, දිරිය වැනි කරුණු මත අඩු වැඩි වේ. මේ අන්දමට කප්පාදු කළ වැලක සියළුම කොළ පැහැති කොටස් දළු, රිකිලි, අතු ඉවත්ව තිබිය යුතුය. කප්පාදුව නිසා සාමාන්‍යයෙන්මිදි වැලක එම කන්නයේ වර්ධනය වූ දඬු කොටස්වලින් 80 - 90% පමණ ඉවත් වේ.

වගා කර ඇති මිදි ප්‍රභේදය අනුව ද කප්පාදුවේදි ඉතිරි කළ යුතු අංකුර සංඛ්‍යාව තීරණය වේ. කෙසේ වුවද සාමාන්‍ය කප්පාදුවක් නිසා මිදි වැලෙහි ප්‍රධාන සැකිල්ලට හානි නොවීමට වග බලා ගන්න.

එතරම් වයස් ගත නොවූ හා වර්ධන දිරිය අඩු වැල් කප්පාදු කරන විට ද්විතීයීක ශාඛාවන්හි අංකුර 2-3 පමණ ඉතිරි කරන්න. මෙමඟින් වැලෙහි ශක්තිමත් සැකිල්ලක් ඇති කර ගත හැකිය.

වේගයෙන් වැඩෙන, දිරිය වැඩි වැල් කප්පාදු කරන විට ද්විතීක ශාඛාවල අංකුර 4-6 ක් පමණ සංඛ්‍යාවක් ඉතිරි කරන්න.

ඊශ්‍රයල් බ්ලු ප්‍රභේදයට අයත් මිදි වැලක් කප්පාදු කරන විට හොඳින් වැඩුන දණ්ඩක අංකුර (ගැට) 4-6 පමණ ඉතිරි කරන්න. නමුත් කප්පාදු කරනු ලබන දණ්ඩ දුර්වල නම් (ඝණකම පැන්සලකට වඩා අඩු නම්) එහි ගැ‍ට දෙකක් පමණ අඩු සංඛ්‍යාවක් ඉතිරි කරන්න. දන්ඩේ ඝණකම මාපටඟිල්ලක් තරම් වූ ව්ට එහි ගැට 4-5 ක් පමණ ඉතිරි කරන්න.

තොම්සන් සිඩ්ලස් ප්‍රභේදයට අයත් මිදි වැල් කප්පාදු කළ යුත්තේ දණ්ඩක ගැට (අංකුර) 8-12ක් පමණ ඉතිරිවන පරිදිය. නමුත් මෙ‍ම ප්‍රභේදයේ ඝණකමින් අඩු දුර්වල දඬු සඳහා ගැට 3-4 ක්ද ඝණකම වැඩි දඬු සඳහා ගැට 12ක් පමණද ඉතිරි කළ යුතුය.

මේ අන්දමට එක් එක් ප්‍රභේද සඳහා කප්පාදුවේදී දණ්‍‍ඩේ ඉතිරි කළ යුතු අංකුර (ගැට) ප්‍රමාණය තීරණය වන්නේ එම ප්‍රභේදයේ දඬු වල පුෂ්ප අංකුර පිහිටා ඇති ප්‍රදේශය අනුවය. එකිනෙකට දුරින් ගැට පිහිටා ඇති මෙන්ම පැතලි කඳක් ඇති දඬු කැබලි වල ඵල දැරීම අඩුය. ඒ නිසා මෙවැනි දඬු කොටස් අංකුර 2 පමණ ඉතිරි කර කපා ඉවත් කරන්න.

ශ්‍රී ලංකාව වැනි රටවල වසරකට දෙවතාවක් මිදි වැල් කප්පාදු කර දෙවරක් අස්වනු ලබා ගත හැකිය. කප්පාදු කළ යුත්තේ මාස 3 ක පමණ දිගු වියළි කාලගුණයක් ඉදිරියේදි ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. මේ කාලය තුල දී මල් හට ගැනීම, ගෙඩි හට ගැනීම, ගෙඩි ඉදී අස්වනු නෙළීම. යන සියළුම දේ සිදුවිය යුතුය. එනිසා අප රටේ යල කන්නයේදී මැයි අග සිට ජූනි මුල් භාගය දක්වාද, මහ කන්නයේදී දෙසැම්බර් අග සිට ජනවාරි මුල් භාගය දක්වාද මිදි වැල් කප්පාදු කළ හැකිය.

මිදි කප්පාදු කිරීම වැලෙහි වර්ධනය නැවති ඇති (අක්‍රීය) අවස්ථාවකදී කළ යුතුය. මෙවැනි අවස්ථාවක් බොහෝ විට දැකිය හැකි වන්නේ ඉහත සඳහන් කාල වකවානු වලදීය.

කප්පාදු කිරීමට සුදුසු අවස්ථාවට පත් වී ඇති වැලක් පහසුවෙන් සඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් තිබේ. ද්වීතීක ශාඛාවල වඩා මේරු පත්‍ර කිහිපයක් කහ පැහැ ගැන්වී තිබීම හෝ පත්‍ර හැලී යාම, වැලෙහි අ‍‍‍‍ළුත් දලු හ‍ට ගැනීම නැවති ඇති ආකාරයක් පෙන්නුම් කිරීම හා දඬුවල කෙලවරින්ම පිහිටි පත්‍ර හොඳින් මේරි තිබීම මේ අතර ප්‍රධාන වේ.

අප රටේ පවතින කාළගුණික තත්ත්ව අනුව වියළි යල කන්නයකදී ඉහත ලක්ෂණ පෙන්නුම් කරන අවධිය සතියක පමණ කාලයක් තුළදී පැහැදිලිව දැක ගත හැකිය. නමුත් මාස් කන්නයේදී මේ අන්දමට වැල්වල අක්‍රීය අවස්ථාවක් පැහැදිළිව දැක ගැනීම අපහසුය.

මේ අන්දමට මිදි වැල අක්‍රීය තත්ත්වයට පත්වී ඇති බව දුටු විගස. එයට ජලය සැපයීම නවත්වන්න.

සාමාන්‍යයෙන් පස් වර්ග අනුව අවම වශයෙන් දින 10ක් වත් රතු දුඹුරු පස්වල ජලය රහිතව පස වියළි කළ යුතුය. වැලි හෝ වැලි ලෝම පස් (කල්පිටිය) දින 4ක් පමණ ජලය නැවැත්වීම සෑහේ.

පස් වර්ග අනුව රතු දුඹුරු පස් වැනි ඒවායේ පාදයේ සිට මීටරයක් පමණ දුරකින් සෙන්ටි මීටර් 30 ක් පමණ පළල හා සෙන්ටි මීටර් 25ක් පමන ගැඹුර කාණුවක් කපන්න. කාණුව සැකසීමේදි පැන්සලක් පමණ විශාලත්වයක් සහිත මුල් ඉතිරි කර සෙසු කුඩා මුල් සියල්ල කපා දමන්න. මාස් කන්නයේදි වැල වටා කාණුවක් කැපීම අත්‍යවශ්‍ය නොවේ.

සාමාන්‍යයෙන් මේ අන්දමට වැල වටා කාණු කැපූ දින සිට දින 5-7 පමණ ගත වූ පසු කප්පාදු කළ හැකිය. එහෙත් වැලි පස් ඇති කල්පිටිය වැනි ප්‍රදේශවල මෙසේ කාණු දැමීම අවශ්‍ය නොවේ. කැපුම්වලින් වැඩිපුර දියර ගැලීමක් සිදු නොවන්නේ නම් කප්පාදු කිරීම සඳහා හොඳින් පස වියළි ඇති බව පෙන්නුම් කරයි.

කප්පාදු කර දින 5-7 ක් පමණ ගත වූ පසුව හෝ වැලෙහි අංකුරවලින් 50% ක් පමණ ප්‍රමාණයක වර්ධනය ආරම්භ වූ අවස්ථාවේදී ‍හෝ වැල වටා කපා ඇති නොගැඹුරු කාණුව පිරෙන සේ දිරාපත් වූ ගොම පොහොර හා නියමිත රසායනික පොහොර ප්‍රමාණය යොදා ජලය සපයන්න.

කෙසේ වෙතත් යල කන්නයේදී කරනු ලබන කප්පාදුව මඟින් මාස් කන්නයේදීට වඩා වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. කප්පාදු කළ යුතු පැහැදිලි අක්‍රීය අවස්ථාවක් වගාවෙහි දැක ගත හැකි වීම හා පරිසර‍යේ පවතින වියළි කාළගුණික තත්ත්වය නිසා දිලීර රෝග වැළඳීමේ හැකියාව අඩු වීම මෙයට හේතුවයි.

පුනර්ජීවන කප්පාදුව

පන්දලම් ක්‍රමයේදී එක් වැලක් වැඩීමට ලබා දී ඇති ඉඩ ප්‍රමාණය වර්ග මීටර් 32 ක් පමණ වේ. වසර කීපයක් ගතවත්ම මෙම සම්පූර්ණ ප්‍රමාණයම වැසී යන අන්දමට වැල වැඩී ඇති බව දැක ගත හැකිය. මිදි පොකුරු හට ගන්නේ අළුත් රිකිලිවල නිසා ඉහත අන්දමට තවදුරටත් වැල නඩත්තු කළ හොත් ලබා ගත හැකි අස්වැන්න ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව පෙනේ.

මෙම‍ තත්ත්වය වලකා ගැනීම සඳහා වැලෙහි පැරණි සැකිල්ල ඉවත් කර ක්‍රමයෙන් නව සැකිල්ලක් ඇති කර ගැනීමට ඉඩ සලසා දිය යුතුය. මේ සඳහා ද්විතීය ශාඛාවල පෘෂ්ඨිමත් අංකුර 4-6 ක් පමණ ප්‍රාථමික ශාඛාවට ආසන්නව තබා කැපීමෙන් අළුත් රිකිලි නිපදවා ගත හැකිය. මෙය පුනර් ජීවන කප්පාදුව වශයෙන් හැඳින්වේ.

පුනර්ජීවන කප්පාදුව සඳහා වඩාත් සුදුසු වන්නේ යල කන්නය‍යි. මේ සඳහාද සාමාන්‍ය කප්පාදුවකදී මෙන්ම ක්ෂේත්‍රය සූදානම් කිරීම වැදගත්ය.

ජල සම්පාදනය

වර්ෂාව නොමැති කාල වලදී අවම වශයෙන් සෑම දින 10 කට වරක් බැගින් වගාවට ජලය සපයන්න. නමුත් මෙය ප්‍රදේශය අනුව වෙනස් වේ.

මිදි වගාවන් සඳහා පත්‍ර තෙමෙන ආකාරයට ජලය යෙදීමෙන් දිලීර රෝග හට ගැනීමේ අවධානම වැඩිවේ.

පෙර සඳහන් අන්දමට කප්පාදු කිරීමට දින 8-10 කට පමණ පෙර වගාවට ජලය සැපයීම නවත්තන්න. නැවත වරක් වැල්වලට ජලය ලබා දිය යුත්තේ කප්පාදු කරන දින 3-4 ක් පමණ ගත වූ පසුවය.

මල් හට ගන්නා කාලයේදි වගාවට අවශ්‍ය තරම් ජලය නොලැබීම නිසා මල් වියළි යාම කුඩා ගෙඩි හැලී යාම නිසා අස්වැන්න අඩු විය හැකිය.

වගාවේ අස්වැන්න නෙලීමට දින 10 කට පමණ පෙර සිට ජල සම්පාදනය කිරීම නවත්තන්න. ගෙඩිවල පැණි රසය වැඩිවීමට මෙය මෙය උපකාර වේ.

මිදි වගාවට ලවන මිශ්‍රිත ජලය යෙදීම නොකරන්න.

මතුපිට ජල සම්පාදනය

මතුපිට ජල සම්පාදන ක්‍රම අනුගමනය කරන්නේ නම් මිදි වැල වටා වැලෙහි පාදයේ සිට මීටරයක අරය සහිතව වලල්ලක් ආකාරයට පිහිටන සේ වැටි සකසා ජලය ලබා දෙන්න. මෙහිදි වැලෙහි පාදස්ථය අවට ප්‍රදේශය සෙසු ප්‍රදේශවලට වඩා තරමක් උසින් පැවතිය යුතුය.

තද වැසි පවතින මාස් කන්නයේදී භූමි පිහිටීමේ පහල ප්‍රදේශයන්හි ජලය එක් රැස්වීමට ඉඩ තිබේ. මෙය වලකා ගැනීම සඳහා සුදුසු පරිදි ගැඹුරු කාණු සකසා වැඩි ජලය ඉවත් කළ යුතුය.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම

මිදි වගාව සඳහා බිංදු ජල සම්පාදනය (Drip Irrigation) හා විසිරුම් - විදුම් ජල සම්පාදනය (Spray Jet Irrigation) යන ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිතා කළ හැකිය. පොළොව මතුපිට සෙ.මී 30 කට වඩා අඩු උසකින් ජලය විහිදුවන ජල සම්පාදන ක්‍රම යොදා ගත හැකිය. මිදි වගාව සඳහා වඩා සුදුසු බිංදු ජල සම්පාදන ක්‍රමයයි. දැනට බහුලව සිදු කරනු ලබන මතුපිට ජල සම්පාදන ක්‍රම හා සැසඳීමේදි ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම අනුගමනය කිරීම මඟින් ලබා ගත හැකි ප්‍රධාන වාසි ගණනාවක් තිබේ.

- ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම සඳහා අවශ්‍යවන්නේ මතුපිට ජල සම්පාදනය සඳහා අවශ්‍යවන ජල ප්‍රමාණයෙන් අඩක් පමණ වේ. මෙය විශාල ජල ඉතිරියකි.

- ලබා ගත හැකි අස්වැන්න වැඩි කර ගත හැකිය.

- අස්වැන්න ලබාගැනීමේ කාලය වෙනස් කර ගත හැකිය.

- ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම මඟින් මිදි වගාවේ අස්වැන්නේ ගුණාත්මය ඉහළ නැංවීම සඳහා ජලය හැසිරවීමේ රටාව වෙනස් කළ හැකිය.

- ජල සම්පාදන පද්ධතිය තුළින් රසායනික පොහොර හා කෘෂි රසායනික යෙදීමෙන් වැයවන කම්කරු ශ්‍රමය 90% කින් පමණ ඉතිරි කර ගත හැකිය.

- ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම මඟින් කෙටි කාලාන්තරවලදී ශාකයේ ජල අවශ්‍යතාවය අනුව මූල මණ්ඩලයට පමණක් ජලය ලබා දේ. එමඟින් පාංශු තෙතමනය ප්‍රශස්ථ මට්ටමකින් පවත්වා ගත හැකිය. මෙය ශාකයේ වැඩීමට අතිශයින් වාසිදායක වන අතර ශාකයේ කප්පාදුවට හා පුෂ්පීකරණයට අවශ්‍ය පරිදි තෙතමන තත්ත්වය පහසුවෙන් පාලනය කළ හැකිය.

ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම යෙදීමේදි සලකා බැලිය යුතු කරුණු

- ප්‍රදේශයේ වර්ෂාපතන රටාව

- මිදි වගා කර ඇති පස් වර්ගය හා ප්‍රදේශය අයත්වන කෘෂි දේශගුණික කලාපය අනුව බෝගයේ ජල අවශ්‍යතාවය

- ශාකයේ වර්ධක අවධිය. කප්පාදු කළයුතු අවස්ථාව හා පුෂ්ප හටගන්නා අවස්ථාව.

- ජල සම්පාදනය සඳහා භාවිතා කල යුතු ජලයේ ගුනාත්මය.

- මිදි වගාව සඳහා භාවිතා කල යුත්තේ පළමු පංතියේ ජලය පමණකි. මෙම ජලයේ පී. එච්. අගය 6.1 - 7.3 අතරද, විද්‍යුත් සන්නායකතාව, මීටරයකට ‍ඩෙසි සීමන් 0 - 0.8 අතරද පැවතිය යුතුය. මෙයට අමතරව මෙම ජලයේ අඩංගු වන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය දශ ලක්ෂයකට කොටස් 150 ට වඩා අඩු විය යුතුය.

ක්ෂ්‍රද්‍ර ජල සම්පාදන ක්‍රම

බිංදු ජල සම්පාදන ක්‍රමය

දෙපේළි ජල සැපයුම් ක්‍රමය

මිදි වැල් පේළිය දෙපසින් ජල විසර්ජක (ඩ්‍රිපර්ස්) සහිත පාර්ශ්වික නල යොදා ඇත. මෙම පාර්ශ්වික නල දෙක අතර පරතරය බෝගයේ වැඩීම අනුව වෙනස් කරනු ලැබේ.

පාර්ශ්වික නල දෙකක් අතර පරතරය හා ශාකයට ජලය පතිත වන ස්ථානය මිදි ශාකයේ වර්ධක අවස්ථාව අනුව වෙනස් වේ.

තනි ජල සැපයුම් ක්‍රමය

එක් මිදි වැල් පේළියක් සඳහා ඩ්‍රිපර්ස් සහිත එක් පාර්ශ්වික නලයක් පමණක් යොදා තිබේ.

ශාකයේ කවයකට ජලය ලබා දීම (කවාකාර බටයක් මඟින්)

 

ශාකයේ කවයකට ජලය ලබා දීම (කවාකාරව යෙදු ජලබිංදු විසර්ජක මඟින්)

විසුරුම් - විදුම් ජල සම්පාදන ක්‍රමය

 

මෙම විසුරුම් හිස මඟින් ජලය ලබාදීමේදී ශාක කඳ හෝ පත්‍ර තෙමීමකට භාජනය නොවේ.

වැදගත්

- මිදි වැලකට සැපයිය යුතු ජල ප්‍රමාණය දිනපතා හෝ පෙර තීරණය කරගත් කාල පරිජ්ඡේද වලදී හෝ ලබා දිය හැකිය.

- කප්පාදු කිරීමට දින 5-7 පමණ පෙර ජල සැපයුම නවත්වන්න. ඉන් පසුව කප්පාදු කර දින 5-7 කට පසුව නැවත සපයන්න.

- අස්වැන්න නෙළීමට සති 2 පෙර සිට ශාකයට සැපයිය යුතු ජල ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්න. මේ අන්දමට පසේ ඉතා අඩු තෙතමන ප්‍රමාණයක් පවත්වා ගනිමින් ජලය සැපයුම ක්‍රමයෙන් පාලනය කර, අස්වැන්න නෙලීමට සතියකට පමණ පෙර ජල සැපයුම නවතා දමන්න.

ක්ෂුද්‍ර ජල සම්පාදනය සමඟ පොහොර යෙදීම (Micro Irrigation with Fertigation)

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම මඟින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නම්, ජල සැපයුම් පද්ධතිය මඟින් බෝගයට අවශ්‍ය පොහොර යෙදීමද ඉතා වැදගත්ය. මේ සඳහා ජල සැපයුම් පද්ධතියට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් සවිකර ගත හැකිය. එසේ නැතහොත් වෙනත් අන්දමකට ජල සැපයුම් පද්ධතියට පොහොර එකතු කර බෝගයට ලබා දිය හැකිය. මේ අන්දමට යෙදිය යුත්තේ ජලයේ හොඳින් දියවෙන වගාවට ගැලපෙන රසායනික පොහොර වර්ග වේ. යූරියා, ඇමෝනියම් සල්ෆේට්, පොටෑසියම් නයිටේට්, මොනෝ ඇමෝනියම් පොස්පේට්, මොනෝ පොටෑසියම් පොස්පේට් වැනි අමිශ්‍ර රසායනික පෙහොර හෝ ද්‍රාව්‍ය පොහොර භාවිතා කර සාදාගත් ද්‍රාව්‍ය පොහොර මිශ්‍රණයක් මේ අන්දමට ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතිය හරහා ලබාදිය හැකිය.

මෙහි සඳහන් කර ඇති ජලයේ ද්‍රාව්‍ය සමහර රසායනික පොහොර වර්ග ලබා ගත නොහැකි නම් මූලික පොහොර ලෙස මියුරියේට් ඔෆ් පොටෑෂ් හා සාන්ද්‍ර සුපර් පොස්පේට් පසට යෙදිය හැකිය. යූරියා වැනි ද්‍රාව්‍ය පොහොර ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතිය තුළින් කෙටි කාලාන්තර වලදී සුළු ප්‍රමාණ වලින් වගාවට ලබා දිය හැකිය. මෙවිටද බෝගයේ වර්ධක අවධිය හා කප්පාදු කිරීම වැනි ක්‍රියාවන් සමඟ පොහොර යෙදීම පාලනය කල යුතු වේ.

වල් පැලෑටි පාලනය

මිදි වැල වටා සෙන්ටි මීටර් 120 ක් (අඩි 4 ක්) පමණ ප්‍රදේශයක් උදළු ගා දමන්න. වැල් අතර ප්‍රදේශයේ, කලාඳුරු වැනි පාලනය කිරීමට අපහසු වල් පැළෑටි තිබේ නම් භූගත කොටස් සමඟ අතින් උදුරා ඉවත් කරන්න. නැතහොත් වැල් වලට නොවදින පරිදි ''ග්ලයිපොසෙට්'' වැනි වල් නාශකයක් යොදන්න.

මිදි පන්දලමක් තුල පාලනයකින් තොරව වල් පැලෑටි වැවීමට ඉඩ හැරීම නිසා වගාවට දිලීර රෝග වැලඳීමට ඇති හැකියාව වැඩිවේ. කෙසේ වුවද මිදි වැල් හොඳින් වර්ධනය වී ඇති පන්දලමක එතරම් කරදරකාරී මට්ටමකින් වල් පැලෑටි හට නොගනී.

පෙහොර යෙදීම

මිදි වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කාබනික පොහොර හා රසායනික පොහොර යන දෙවර්ගයම මැනවින් ‍යෙදිය යුතුය. විශේෂයෙන් මිදි වගාව සඳහා විශාල වශයෙන් කාබනික පොහොර යෙදීම අනිවාර්යෙන්ම සිදු කල යුත්තකි.

කාබනික පොහොර

පැල සිටුවීමට පෙර හොඳින් දිරාපත් වූ ගොම, කොළ පොහොර ආදිය යොදා වලවල් පුරවන්න. යම් හෙයකින් ඉහතින් සඳහන් කර ඇති පරිදි වැල වටා කාණු කැපීම කල නොහැකි විට රසායනික පොහොර යෙදීමට පෙර, වැල් වටා කාබනික පොහොර විසුරුවා හැර පසට මුල්ලු කරන්න. මෙවැනි සෑම අවස්ථාවකදීම එක් වලකට දිරාපත් වූ ගොම හෝ වෙනත් කාබනික පොහොර ‍‍වර්ගයකින් 'පොලිසැක්' මළු දෙකක් වත් අනිවාර්යෙන්ම යොදන්න.

කප්පාදු කරනු ලබන සෑම අවස්ථාවකටම පසුව වැලෙහි සිට මීටරයක් පමණ දුරකින් සෙන්ටි මීටර් 30 පමණ පළල ප්‍රදේශයක සෙන්ටි මීටර් 20-25 (අඟල් 8-9) පමණ ගැඹුරකට පස් ඉවත් කරන්න. මෙය තුලට කාබනික පොහොර හා රසායනික පොහොර යොදා පස් වලින් වසන්න. වැල වටා මෙලෙස නොගැඹුරු ලෙස පස් ඉවත් කිරීමේ දී මතු පිට ප්‍රදේශයේ ඇති මුල් කැපී, කිරි මුල් හට ගනී. එනිසා යොදන පොහොර වලින් වැඩි ප්‍රමාණයක් බෝගයට ලබා ගැනීමට ඉඩ සැලසේ.

රසායනික පොහොර

මිදි වගාවට නිර්දේශිත පරිදි යෙදිය යුතු රසායනික පොහොර වර්ග අමිශ්‍ර පොහොර ලෙස ලබා ගෙන මිශ්‍ර කරගන්න. නිර්දේශිත ආකාරයට මිදි වගාවට යෙදිය යුතු රසායනික පොහොර වලින් කිලෝ ග්‍රෑම් 50 ක් සකස් කර ගැනීම සඳහා යූරියා කිලෝ ග්‍රෑම් 13 ක්, සාන්ද්‍ර සුපර් පොස්පේට් කිලෝ ග්‍රෑම් 09 ක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම් 28 ක් අවශ්‍ය වේ.

මෙම පොහොර ප්‍රමාණ එකිනෙක සමඟ හොඳින් මිශ්‍ර කර වගාවට යොදන්න.

- පැල සිටුවීම සඳහා සකස් කර ගත් වලකට මෙම පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 450 ක් යොදා පස් සමඟ කලවම් කරන්න.

- පැල සිටුවා මාස 04 ක් ගත වූ පසු ඉහත මිශ්‍රණයෙන් නැවත වරක් ග්‍රෑම් 150 ක් වැලකට යොදන්න.

N
P
K
240
160
500

- පළමු කප්පාදුවට පසුව එක් වැලකට පොහොර ග්‍රෑම් 900 බැඟින් යොදන්න.

- ඉන් පසු සෑම කප්පාදුවකට පසුව එක් වැලකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය ග්‍රෑම් 225 බැඟින් වැඩි කරන්න.

N
P
K
60
40
125

- මේ අන්දමට අවසානයේ දී වැලකට වසරකදී යොදනු ලබන පොහොර ප්‍රමාණය ග්‍රෑම් 2700 ක් දක්වා වැඩි කරන්න.

- වසරකදී වැලකට යොදිය යුතු පොහොර ප්‍රමාණයෙන් අඩක් බැඟින් කප්පාදුවට පසුව යොදන්න.

වැල් කප්පාදු කර දින 5-6 කට පසුව රසායනික පොහොර හා කාබනික පොහොර යොදා ජලය සපයන්න.