මිදි වගාව 1

ලෝකයේ බහුලව වගා කරනු ලබන මිදි විශේෂය විටිස් විනිෆෙරාය. එය කැස්පියන් හා කළු මුහුද අවට ප්‍රදේශයෙහි සම්භවය වී ඇතැයි සැලකේ. මෙයට අමතරව උතුරු ඇමරිකානු සම්භවයක් ඇතැයි සැලකෙන විටිස් ලැබ්‍රස්කා විශේෂය වගාවක් වශයෙන් විනිෆෙරා තරම් ජනප්‍රිය නැත.

නැවුම් පළතුරක් ලෙස ආහාරයට ගැනීම, වයින් නිෂ්පාදනය හා වියළි මිදි නිෂ්පාදනය යන ප්‍රධාන ප්‍රයෝජන තුන සඳහා මිදි වගා කරනු ලැබේ.

ලෝකයේ මුළු මිදි නිෂ්පාදනයෙන් 70% ක් පමණ වයින් සඳහා ද 28% ක් පමණ නැවුම් පළතුරක් ලෙසද 2% ක් පමණ වියළි මිදි සඳහා ද යොදා ගනු ලැබේ. මේ අනුව වගා කරනු ලබන මිදි වර්ගද වෙනස් වේ. මෙයට අමතරව යුෂ ලබා ගැනීම, ටින් කිරීම වැනි කාර්යයන් සඳහාද මිදි අස්වැන්න භාවිතා කළ හැකිය.

2001 වසරේදී නැවුම් පළතුරක් වශයෙන් මිදි මෙට්‍රික් ටොන් 2,716 ක් හා වියළි මිදි වශයෙන් මෙට්‍රික් ටොන් 1,942 ක් මෙරටට ආනයනය කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 358 ක් පමණ වැය වී තිබේ. 2002 වසරේදී මෙට්‍රික් ටොන් 3,364 ක පමණ මිදි ප්‍රමාණයක් පළතුරක් ලෙසද වියළි මිදි මෙට්‍රික් ටොන් 2,064 ක් පමණද ආනයනය කර ඇත. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 425 ක් පමණ වේ.

සාර්ථකව මිදි වගා කිරීම සඳහා විශේෂ පුහුණුවක් තිබිය යුතුයි. විශේෂයෙන් කප්පාදු කිරීම හා වැල් පුහුණු කිරීම වැනි ඉතා වැදගත් වගා පාලන ක්‍රම නිසි පරිදි ඉටු නොකිරීම නිසා අස්වැන්න බෙහෙවින් අඩු විය හැකිය. එසේම වගාව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය.

වෙනත් බොහෝ පළතුරු වගාවන් සමඟ සසඳන කළ මිදි වගාව සඳහා වැඩි මූලික ප්‍රාග්ධනයක් යෙදවිය යුතුය. නමුත් ක්‍රමවත්ව නඩත්තු කළ මිදි වගාවකින් විශාල ආදායමක් ලබා ගත හැකිය.

මිදි වගාව පලමුවෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ පෘතුගීසි මිෂනාරී වරුන් විසිනි. බො‍හෝ කළක් යාපනය, පුත්තලම වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබුණු මෙම වගාව මේ වන වියට අනුරාධපුරය, හම්බන්තොට, මොණරාගල වැනි ප්‍රදේශ කරාද ව්‍යාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ වගා කළ හැකි වෙනත් සියළුම පළතුරු වලට වඩා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලබා දීමට මිදි වගාව සමත්ය. එනිසා සාර්ථකව මිදි වගා කල හැකි ප්‍රදේශවල සෙසු පළතුරු වර්ග අභිබවා ඉදිරියෙන් සිටීමට එයට හැකියාවක් ඇත. දේශීයව පවතින අධික ඉල්ලුම සහ වැඩි මිලකට අලෙවි කර ගත හැකිවීම නිසා මිදි වගාව ගොවීන් අතර ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියවීමට හේතු වී තිබේ.

දේශගුණික අවශ්‍යතා

වාණිජ මට්ටමින් වගා කිරීම සඳහාත්, අස්වැන්නේ ගුණාත්මය වැඩිකර ගත හැකි වීම නිසාත්, මිදි වගා කිරීම සඳහා ඉතාම සුදුසු වන්නේ අප රටේ වියළි කලාපයයි. නමුත් වගාව සඳහා ජල සම්පාදන පහසුකම් තිබීම අත්‍යාවශ්‍යය. කප්පාදුවෙන් පසුව අවම වශයෙන් මාස තුනක පමණ වියළි කාළගුණික තත්ත්වයක් පැවතීමද වැදගත්ය. එනිසා මිදි වගාව සඳහා වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ලැබෙන මුළු වර්ෂාපතනය නොව, එය වසර පුරා කෙසේ ව්‍යාප්ත වී තිබේද යන්නයි.

වායුගෝලයේ ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය වැඩි කාලවලදී වගාවේ පත්‍රවලට දිලීර රෝග වැලඳීමට වැඩි හැකියාවක් තිබේ. මෙයට අමතරව ආර්ද්‍රතාවය හා වර්ෂාපතනය වැඩි වූ විට වගාවේ මල් හැලීම වැඩි වේ. එමෙන්ම ගෙඩි වැඩි සංඛ්‍යාවක් පිපිරීමටද ඉඩ ඇත.

මිදි වගාව සුළඟින් ආරක්ෂාකර ගැනීමද වැදගත්ය. දරුණු සුළඟ නිසා, පස වියළී යාමට අමතරව වගාවේ වැල් සහ ගෙඩ් වලටද හානි සිදුවිය හැකිය.

පස

මිදි වගාව සඳහා ඉතාම යෝග්‍ය වන්නේ ඉතා හොඳින් ජලය බැසයන, සැහැල්ලු, ගැඹුරු පසකි. පසෙහි මැටි ස්වභාවය අධිකවීම මෙම බෝගයට එතරම් සුදුසු නොවේ.

පසෙහි ගැඹුර මීටර් 1-2 පමණ තිබේ නම් වගාවේ මුල් වර්ධනය ඉතා හොඳින් සිදුවීමට අවකාශ ලැබේ. පස මතුපිටට ආසන්නව තද ගල් ස්ථරයක් පවතින චූර්ණමය නොවන දුඹුරු පස් ඇති අරලගංවිල හා අම්පාර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ මිදි වගාව සඳහා එතරම් සුදුසු නොවේ. මෙයට අමතරව ලවණ අධික පස්වලද, ලවණ අධික ජලය පවතින ප්‍රදේශ වලද, සාර්ථකව මිදි වගා කළ නොහැකි වේ.

වියළි කලාපයේ භූමි පිහිටීම අනුව ඉඩමේ ඉහළම කොටස්වල පසෙහි ගැඹුර මීටර් 2-2 1/2 පමණ වූ හොඳින් ජලය බැස යන, ජල සම්පාදන පහසුකම් සහිත හා හිරු එළිය හොඳින් ලැබෙන ස්ථාන වීමද විශේෂයෙන් වැදගත්ය.

වගාව සඳහා පසෙහි පැවතිය යුතු වඩාත් සුදුසු පී.එච්. අගය 6.5-7.5 පමණ වේ.